Search This Blog

Saturday, January 17, 2015

පොතක් ලියා පළකරන්නේ කෙසේද?

පොතක් ලියා පළකරන්නේ කෙසේද?.

මෙතන ඉන්නවා, මම දැකල තියෙනවා ඉතාම ලස්සන භාෂාවක් තියෙන දක්ෂ ලේඛක ලේඛිකාවො..ඒ වගේම සමහරු ඉන්නවා නිර්මාණ කරල ප්‍රකාශයට පත්කරගන්න බැරුව ලතවෙන... හැමෝටම පිළිතුරක් නැත්තං මගපෙන්වීමක් මේ මගින් ලැබේවි යැයි සිතනවා..
නවකථාවක් / කෙටිකතා / කවි / ශාස්ත්‍රීය පොතක් නම්...............

ඉස්සෙල්ලම තමුන් කරපු නිර්මාණය ඒක මොකක් වුණත් ටයිප් සෙටින් දන්නා අයෙකු ලවා A4 ප්‍රමාණයට මාජින් තියල ටයිප් සෙටින් කරගන්න වෙනවා අදාළ භාෂාවෙන්. මොකද ෆුල්ස්කැප්, අභ්‍යාසපොත් වල ලියල දෙන පොත් නිකං ප්‍රාථමික ගතියක් තියෙනව දැන් කාලෙ..... ඒක ටයිප්සෙට් කරල පොතක් විදියට බයින්ඩ් කරල ගන්න.
පළමුවෙනි කාරණාව මේක තමුන් විසින් මුද්‍රණය කරල ප්‍රකාශයට පත්කරනවද නැති නම් ප්‍රකාශකයෙකු හරහා තීරණය කළ යුතුයි.

කර්තෘ ප්‍රකාශන නම්....

ජාතික පුස්තකාල හා ප්‍රෙල්ඛන මණ්ඩලය කොළඹ 07 වෙත ගොස් පොතේ පිටපත ඉදිරිපත් කොට අවැසි නම් කර්තෘ ප්‍රකාශකයෙකු ලෙස ලියාපදිංචි විය හැකිය. එමෙන්ම පොතක් සදහා වූ අන්තර්ජාතක ප්‍රමිති මාලිත අංකය ISBN එක ලබාගත යුතුය. එය එවේලේම හෝ පසුව තැපැල් මගින් ලබාගත හැකිය. එය ඉතා සරල කටයුත්තකි.

පොත කුමක් වුවද එය ඒ භාෂාව දන්නා උගතකු/ පරණ ප්‍රින්සිපල් කෙනෙක් / මහාචාර්යවරයෙක් / ප්‍රවීණ ලේඛකයෙක් / මාධ්‍යකරුවෙක් වගේ කෙනෙක්ට දීලා හරිවැරදි බලවා ගන්න. ඒ ගමන් පොඩි හැදින්වීමක් ලියල දෙන්න කියන්න.. මොකද අදාළ පුද්ගලයාගේ සිවිල් බලයත් දැන් ලංකාවේ පොතකට බලපානවා! ඊට පස්සෙ පොත සදහා පසුවදනක් ලබාගන්න එවැනිම පුද්ගලයෙක් වෙත යන්න. ඔහුගෙනුත් අදහස් අරං අඩුපාඩු සාකච්ඡා කරල ඒවා හදන්න... වැරදි නිවැරදි කරගන්න.. උඩගු වෙන්න එපා..තමන් සියල්ල දන්නවා යැයි හිතන්න එපා.. නිහතමානි වෙන තරමට වැඩේ ලේසියි...

ඊට පසු අර පොත ටයිප් සෙටින් කරපු කෙනා ලවාම පොතේ PAGE LAYOUT හදාගන්න. පොත් වල සම්මත ප්‍රමාණ තියෙනවා ක්‍රවුන් සයිස්, ඩිමයි සයිස් ඔය වගේ. එහෙම ටයිප්සෙටින් කරන ගමං පොත් කවරයක් ලෑස්ති කරගන්න.. කවිපොත්, කෙටිකතාවලට ග්‍රැෆිකල් කමර්ෂල් කරනව අඩුයි.. කරන්නෙ චිත්‍ර අදින එක තමා. ඒක තමුන්ගෙ අභිමතය පිරිදි සුදුස්සෙකු ලවා කරගන්න ඕන.

විශ්වාසවන්ත මුද්‍රණාලයක් සොයාගන්න. පොතක් මුද්‍රණයට නම් පොතේ පිටු ගණන කවරය වෛර්ණ නම්, එයද මුද්‍රණය කර, ලැමිනේෂන් කරල, ගැදර් කර, බයින්ඩ් කර, කටර් කරල අවසාන නිමාව විදියට පොත් 500ක් හෝ 1000ක් මුද්‍රණයට අදාල කෝටේෂන් තැන් 3-4කින් ගන්න... තමුන්ගෙ පසුම්බියෙ තරමට හරියන තැන තෝරල ඒක මුද්‍රණය කරගන්න. ඔබ අදාළ පොතේ ට්‍රේසින් මුද්‍රණය වගේම පොසිටිව් හෝ සී.ටී.බී ප්ලේට් (වර්ණ කවරය) මුද්‍රණයට අදාළ කටයුතු මුද්‍රණාලයට සැපයීම හෝ ඔවුන් ලවාත් කරගත හැකියි. කඩදාසිය තේරීමේදී සැලකිලිමත් වෙන්න.. මොකද පොත කුඩා නම් පිරුණු පෙනුමක් නැත්තං හොදට මස හිටින්න නම් ‘බල්කි‘ කඩදාසියත් ඉතා ශාස්ත්‍රීය හෝ වැදගත් යැයි ‘සම්මත‘ පොතක් නම් ‘සුදු පැහැ බෑන්ක්‘ කඩදාසියත් ඊට යොදාගන්න. එවිට මිල මට්ටම වෙනස් වෙනවා ඇත. සමස්ත මුද්‍රණ ක්‍රියාවලිය වෙනුවෙන් වැයවූ මුදල මෙන් තුන්ගුණයක්ද විෂය පොතක් නම් හතර හෝ පස්ගුණයක් ලෙස මිල තීරණය කළ යුතුය.
ඉන්පසු ලොකුම ගැටලුව පොත විකුණගන්න එක. ඔක්කටෙම කලියෙන් ඒ මුද්‍රණය කරපු පොතනේ පිටපත් 05ක් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට ලබාදීමට කාරුණික වන්න. එය ජාතික යුතුකමකි.


තමුන් කැමති නම් දොරට වැඩීමේ උළෙලක් පවත්වන්න. එහිදී ආරාධිතයන් පොත මිලයට ගන්නා නිසා (මගුල් ගේ වගේ ඕක කියන්නෙ ඉතින් විකුණගන්නනෙ! නැතුව අහවල් එකටයැ!) පොත් යටත්පිරිසෙයින් 100ක්වත් විකුණාගත හැකිය. එසේවන්නේ 300කට පමණ ආරාධනා කළහොත් ය.! ඇත්තටම එන්නේ අඩුගණනකි. (ඔබ ජනප්‍රිය/ප්‍රසිද්ධ අයෙකු නොවේනම්) මාධ්‍ය ආයතන සියල්ල වෙත ආරාධනා කළ යුතුය. බොරුවට හරි එහෙම කරාම ඔවුන් තමුන්ගෙ වැඩසටහන් වල එවැනි ඉසව්වක් තියෙන බව සදහන් කිරීමත් ප්‍රසිද්ධිය ලබාගතහැකි කාරණාවක්.
ඊට පස්සෙ පොතේ පිටපත් කිහිපයක් පුවත්පත් ආයතන වල මාධ්‍යෙව්දීන් හෝ කතුවරුන් වෙත ලබාදුන්විට ඔවුන් පොත පිළිබද ‘අලුත් පොත්‘ තීරුවේ පළකරනු ඇති. ඉන්පසු ලංකාවේ ප්‍රසිද්ධ පොත්හල් වලට පොතේ පිටපතක් ඉදිරිපත් කරන්න ඕනි. ඔවුන් කැමති නම් බොහෝවිට පිටපත් 10 සිට 50 දක්වා බාරගන්නවා. ඒ විකුණා මුදල් ලබාදීමේ කොන්දේසිය පිට. ඒ කියන්නෙ අපි පොත් හලට 40%ක මිලයට පොත් ලබාදිය යුතුයි. පොත විකුණුනු වහා දෙනවා කියල එයාලා කියනවා...දෙන එක ගැටලු සහගතයි තමා... ඉතින් ඒක පස්සෙ පන්නන්න ඕනි. දීපු පොත් කඩ ස්ථාවර ඒවා විය යුතුයි. ඒවගේ නම් ගම් දුරකථන අංක සියල්ල පොතක ලියාගත යුතුයි..දීපු පොත් ගාණත් එක්ක! මාස 2-3කින් පාඨකයෙක් විදියට කෝල් කරල අහල බලන්න ඒනි ‘අරහොම‘ පොතක් තීද කියල....තියෙනව කීවොත් මූණ බෙරි කරගන්න වෙනවා.. නෑ කීවොත් පහුවදාම යන්න සල්ලි ඉල්ලගන්න!!


ඒ වගේම හිතවතුන්, ආයතන හරහාත් මෙවැනි සමාජ ජාල හරහාත් සැලකිය යුතු පොත් සංඛ්‍යාවක් විකුණාගන්න පුලුවන්.. හැබැයි ටිකක් කට්ට කන්න වෙනවා.

ප්‍රකාශකයෙකු මාර්ගයෙන්....


ලංකාවේ හොද ප්‍රකාශන ආයතන කිහිපයක් තියෙනවා. මේ ඊයෙත් ෆේස්බුක් වල කොළඹින් බැහැර ජනප්‍රිය ප්‍රකාශන ආයතනයක් පොත් බාරගන්න බවට දැන්වීමක් පළ කරල තිබුණා. ඒ වගේ ආයතන තියෙනවා.. හොරුත් සෑහෙන ඉන්නවා.
ප්‍රකාශන ආයතන නම් දෙකතුනකට යන්න වෙනවා. සමහරු පොත තියල යන්නකියනව. අවුරුද්දකින් ගියත් පොත තියපු තැනමයි! සමහර ප්‍රකාශන ආයතන වල මුදලාලිලා නොව ප්‍රකාශන සම්බන්ධව තේරුමක් තියෙන මාධ්‍යෙව්දීන්/ලේඛකයන් වගේ අය ඉන්නවා. එහෙම ඉන්න ආයතන වලට පොත දුන්නාම ඒ අය කියවල බලල හොද නම් බාරගන්නවා. ප්‍රකාශකයා සමග ගිවිසුමකට යන්න වෙනවා. මුද්‍රිත පිටපත් ප්‍රමාණයේ මුළු වටිනාකමින් 10%ක් ඔබට කර්තෘ භාගය ලෙස හිමිවෙන අතර මුද්‍රිත පොත් ප්‍රමාණයකුත් නොමිලයේ ලැබෙනවා. කට්ට කන්න වෙන ප්‍රමාණය ඉතාම අඩුයි.. ප්‍රකාශකයා හා ලේඛකයා අතර සහයෝගීතාව උඩ විවිධ දැනහැදුනුම්කම් හරහා ප්‍රචාරය හා විකුණුම් කටයුතු කරගත හැකියි.

පොත් මිලදි ගැනීම සංස්කෘතික කටයුතු අමාත්‍යංශය
ජාතික පුස්තකාලය
අධ්‍යාපන අමාත්‍යංශය
වැනි ආයතන විසින් යම් පිටපත් ප්‍රමාණයක් මිලට ගන්නවා. ඔවුන්ගෙ ලේඛකාධාර වැඩපිළිවෙලකින් සහාය ගන්නවා නම් ඉතාම හොදයි.

පරිවර්තන නම්.....

මුල් කෘතිය කිහිපවතාවක් කියවල, ඒක රටට දිය යුතු දෙයක්ද නොදිය යුතු දෙයක්ද තීරණය කළ යුතුයි. ඉන්පසු පරිවර්තන කාර්යය නිමවා ඒ ගැන අවබෝධයක් ඇති අය කිහිපදෙනෙකුට එය කියවන්නට දිය යුතුයි. ඒ අයගේ ප්‍රතිචාර අනුව නැවත සංස්කරණය හෝ අදාළ වෙනස්කම් කර, එම පොතේ වෙනත් පරිවර්තන ඇතිදැයි සොයාබැලිය යුතුයි. ඇත්නම් ඒවා සොයාගෙන එහි අඩුපාඩු බැලිය යුතුයි. අඩුපාඩු ඇතැයි පැහැදිලිවම කිව හැකිනම් ඒවා සටහන් තබාගෙන, අදාළ කාර්යය කළ යුතුයි.
ඉතිරිය පෙර ලෙසමයි...

No comments:

Post a Comment