Search This Blog

Sunday, January 18, 2015

නාගන්නේ නැතුව පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිලදීගන්නේ

නාගන්නේ නැතුව පාවිච්චි කළ ජංගම දුරකථනයක් මිලදීගන්නේ මෙහෙමයි !




Name:  01A.jpg
Views: 168
Size:  69.0 KB
පාවිච්චි කරපු ජංගම දුරකථනයක් මිලදී ගැනීම ඔබේ මුදල් ඉතුරු කරන විසඳුමක් වෙන්න පුළුවන්. ඒත් ඒ එක්කම පුංචි අවධානම් කිහිපයකටත් ඔබට මුහුණදෙන්න සිදුවේවි. ඉතින් මම අද කියන්න යන්නේ මොනවද පාවිච්චි කරපු ජංගම දුරකථනයක් මිලදී ගන්න කලින් හිතන්න ඕන දේවල් කියලයි. ඒ වගේම ඔයාගේ පරණ ජංගම දුරකථනය විකුණන්න කලින් හිතන්න ඕන දේවල් ගැනත් අපි අද කතා කරමු.
ජංගම දුරකථන නිෂ්පාදන සමාගම් සෑම වසරකම අලුතින් මාදිලි වෙළඳපලට නිකුත් කරනවා. ඉතින් මේ නිසා නිතැතින්ම බොහෝ දෙනෙක් අලුත්ම මාදිලිය මිලදීගන්නට නිතැතින්ම පෙළඹෙනවා. ඒත් අලුත්ම මාදිලිය මිලදීගන්නට අවශ්‍ය නොවන ඊට ටිකක් පරණ ජංගම දුරකථනයකින් සෑහීමට පත්වන අය බොහෝ පිරිසක් අපේ වගේ රටවල් වල ඉන්නවා.
පාවිච්චි කරපු ජංගම දුරකථනයක් මිලදී ගන්නවා නම් ඔබ warranty එක ගැන හිතන්නේ බොහෝමත්ම සුළුවෙන්. ඒත් මාසෙක හරි වගකීමක් තියෙනවා නම් ඒක වටිනවා. මොකද ඒකෙන් ජංගම දුරකථනය පාවිච්චි කරපු කාලය ගැන හොඳ අදහසක් ඔබට ගන්නට පුළුවන්. ඒ වගේම ජංගම දුරකථනය හොඳ තත්වයේ තියෙනවා කියලත් හොඳ විශ්වාසයක් තබාගන්න පුළුවන්. හැබැයි මේ හැමදේටම කලින් ඔබ මිලදීගන්නා මුදලයි වැදගත් වන්නේ.


නියම මිල ගැන දැනගන්න.

පාවිච්චි කල ජංගම දුරකථනයක් මිලදීගන්න ප්‍රධානම හේතුව වෙන්නේ සාක්කුවට ගැලපෙන මිලයි. ඉතින් හිතුමතේට මිලදීගන්නේ නැතුව ටිකක් මිල ගැන හොයලා බලන එක හොඳයි නේද? මොකද පාවිච්චි කරපු ජංගම දුරකථන වලට නිෂ්චිත මිලක් නැහැ. ඒ වගේම දුරකථනයේ තත්වය කාලය අනුවත් මිල වෙනස් වනවා. හැබැයි සාමාන්‍යෙයන් අලෙවි වන මිල ගැන දල අදහසක් ගන්නට ikman.lk, ebay.com, wow.lk වගේ වෙබ් අඩවියක පිහිට පතන්නට පුළුවන්. එහිදී ඔබට අවශ්‍ය දුරකථනය සාමාන්‍යෙයන් අලෙවි වන මුදල, කොයිතරම් ප්‍රමාණයක් විකිණීමට තිබෙනවාද කියලා දැනගන්න පුළුවන්. මං එහෙම කිව්වේ වැඩිය විකුණන්න නැති ජංගම දුරකථනයක් මිලදී ගන්න එක ටිකක් විතර අවධානම් විය හැකි නිසයි. ඒ විතරක් නෙවෙයි ඔබ සොයන ජංගම දුරකථනය බොහෝ දෙනෙක් මිලදීගෙන ටික කලකින්ම විකුණන්නට පෙළඹෙනවා නම් එය තරමක් අවධානම් සහිත තේරීමක් කියලා හිතන්න පුළුවන්.
1. ඒ වගේම අමතක කරන්න එපා ඒ දුරකථනය Unlock එකක්ද කියලා හොයලා බලන්න. Ebay වගේ වෙබ් අඩවි වල නම් ඔබට වෙනම Unlocked ජංගම දුරකථන හොයාගන්න පුළුවන්. ඒත් Ikman හරි වෙනත් ලංකාවේ වෙබ් අඩවියක නම් බොහෝ විට ඔබට ඒ පිළිබඳව විමසා දැනගන්න වේවි. Ebay එකේ හොයනවා නම් Buy It Now මිල සහ Bid කරලා ගන්න කැමති මිල පටලගන්න එපා.
2. සෑම විටම ඔබට වියදම් කරන්න පුළුවන් ප්‍රමාණය ඇතුලත තියෙන ජංගම දුරකථන සොයන්න. එහෙම නැතුව අඩුත් නැති වැඩිත් නැති මිල ගැන බලන්න එපා. මොකද සියගණනක් ජංගම දුරකථන අතරින් අන්තිමට ඔබට මිලදීගන්නට වන්නේ ඔබේ අතේ තියෙන මුදලට ගැලපෙන ජංගම දුරකථනයක් නේ. එහෙම තෝරගත්ත ජංගම දුරකථන අතරින් හොඳම තත්වයේ ජංගම දුරකථනය සොයාගන්න එක තමයි වැදගත්ම දේ. ඒ සඳහා ජංගම දුරකථනය ගැන සඳහන් කරල තියෙන විස්තරය හොඳින් කියවන්න. ඒ වගේ විස්තරයක් නැති ජංගම දුරකථන අමතක කරලා දාන එක නුවණට හුරුයි. තවත් අමතර යමක් දැනගන්න තිබෙනවානම් එහි සඳහන් දුරකථන අංකයට ඇමතුමක් දෙන්න. ඇමතුමක් දෙන එකෙන් ඔබට වෙබ් අඩවියේ සඳහන් කරලා තියෙන දේවල් වල ඇත්ත නැත්තත් දැනගන්න පුළුවන්නේ.
3. ඔබ මිලදීගන්න සූදානම් වල ජංගම දුරකථනයට සමාන specs තියෙන අලුත් ජංගම දුරකථන වල මිල ගැනත් හොයලා බලන එක වැදගත්.
4. ජංගම දුරකථනය සමඟ ලබාදෙන අනෙකුත් අමතර උපාංග ගැනත් තොරතුරු විමසන්නත. එහෙමත් නැතිනම් අලුතින් උපාංගම මිලදී ගන්නට වැයකලයුතු මිල ගැනත් සොයාබලන්න. මොකද සාමාන්‍යයෙන් අමතර උපාංග වල මිල වෙනම මිලදීගන්න විට තරමක් වැඩියි.




මීලදීගැනීමට සුදුසුම තැන

කොහෙන්ද මිලදීගන්නේ කියන එකත් අවධානය යොමුකල යුතුම දෙයක්. විවිධාකාර විධි වල විවිධ වාසි අවාසි තියෙනවා. හොඳම විදිය නම් විකුණන කෙනා මුණගැහිලා ජංගම දුරකථනය පරීක්ෂා කරලා මිලදීගන්න එක. ඒත් අන්තර්ජලය හරහා මිලදීගන්න එකෙත් වාසි තිබෙනවා.




Facebook වැනි සමාජ ජාල වෙබ් අඩවි හරහා.

Facebook වගේ සමාජ ජාල වෙබ් අඩවි වල ජංගම දුරකථන පිළිබඳ කතා බහට ලක්වෙන Groups ඔබ අනන්තවත් දැකලා ඇති. ඉතින් මේ වගේ group එකක් හරහා ඔබේ අවශ්‍යතාවය ඉටු කරගන්න ඔබට අවස්ථාව තියෙනවා. බොහෝ වෙලාවට නියම පුද්ගලයාගෙන්ම ඔබට මිලදීගන්නට පුළුවන් වීමත්, පහසුවෙන් කතාබහ කරලා තොරතුරු දැනගන්නට හැකියාව තිබීමත් නිසා මේ ක්‍රමය සාර්ථක ක්‍රමයක්. ඒත් සමහර අය පුද්ගලික තොරතුරු අනාවරණය වන නිසා සමාජ ජාල වෙබ් අඩවි හරහා ගණුදෙනු කරන්නට අකමැතියි.
Ikman.lk, Wow.lk හා HitAd.lk වැනිClassified වෙබ් අඩවි හරහා

මේ වගේ වෙබ් අඩවි වල විශේෂත්වය වෙන්නේ ඔබට විශාල ප්‍රමාණයක් භාණ්ඩ අතුරින් හොඳම දේ තෝරාගන්නට හැකියාව තිබීමයි. ඒ වගේම ඔබට ආසන්න ප්‍රදේශයකින් තෝරාගන්නට හැකි වීමත් විශේෂයි. හැබැයි කලින් කිව්වා වගේ පැහැදිලි ඡායාරූපයක් පළකර ඇති, ජංගම දුරකථනය පිළිබඳ තොරතුරු වැඩි ප්‍රමාණයක් ඇති දැන්වීම් වලින් පමණක් ජංගම දුරකථන තෝරාගැනීම වැදගත්. කොහොමහරි අන්තමට අතට අරන් බලලාම ජංගම දුරකථනය ගැන අවසන් තීරණයට එළඹෙනවා නම් හොඳයි. ඒ වගේම කොයිම වෙලාවකවත් නොදන්න අයගේ බැංකු ගිණුම් වලට එහෙම සල්ලි දාන්න යන්න එපා. ඒ විතරක් නෙවෙයි ජංගම දුරකථන බලන්න එක එක තැන් වලට යනවා නම් පරිස්සම් වෙන්න. ඒ නිසයි හොඳ විස්තරයක් තියෙන දුරකථන විතරක් බලන්න කියලා කිව්වේ. මොකද අන්තිමට නංගි පෙන්නල අක්කා දෙන තැනකට ගිහින් නිකං කාලේ නාස්ති කරගන්නේ මොකටද නේද?
Ebay වැනි Online මිලදීගැනීමේ පහසුකම් ඇති වෙබ් අඩවි හරහා

Ebay හරහා බොහෝම අඩු ගාණට ජංගම දුරකථන මිලදීගන්න පුළුවන්. හැබැයි ඉතින් අතට අරන් බලලා නෙවෙයිනේ සල්ලි ගෙවන්න වෙන්නේ. ඒ නිසා ටිකක් වැඩිපුර හොයලා බලන්න. හොඳ පැහැදිලි Top Sellers ලාගෙන් විතරක්ම ගන්නවන් හොඳයි. ඒ වගේම Return Policy එකක් තියෙන ජංගම දුරකථනයක් විතරක් මිලදී ගන්න. මොකද මොනම හේතුවකින් හරි ඔබට අවශ්‍ය දේ නෙවෙයිනම් ලැබිලා තියෙන්නේ ඒ ජංගම දුරකථනය නැවත හරහා යවන්නට අවස්ථාවක් තිබීම වැදගත්. Bid කරලා මිලදීගන්නවාට වඩා සඳහන් කරලා තියෙන මිලට මිලදීගන්න එකටයි පුද්ගලිකව මමනම් කැමති. Bid කරලා මිලදීගන්න හොඳයි ඒතරම් හොයාගන්න නැති ජංගම දුරකථන නම්. ඒත් ඕන ගානට ඕන තරම් තියෙන ජංගම දුරකථන වෙනුවෙන් මොකටද bid කරන්නේ.



අවසන් මිල තීරණය කිරීම

අමතක කරන්න එපා සාමාන්‍යෙයන් කෙනෙක් මිලක් තීරණය කරන්නේ ටිකක් වැඩිපුර තියලා. ඒ අවශ්‍ය වුනොත් ටිකක් අඩුකරන්න හිතලා. ඉතින් කියනගානටම ගන්නේ නැතුව ටිකක් අඩු මිලකට ඉල්ලන එක වරදක් නැහැ. ඒ වගේම පින්තූර වලින් පෙනෙන විදියට නැත්නම් ඔබට මිල ගැන ඉල්ලීමක් කරන්න පුළුවන්. සාමාන්‍යන් ජංගම දුරකථනයේ පසුපස ආවාරණයේ හෝ දෙපස ආවරණයේ සීරීම් වලට වැඩි ගණනක් අඩු කරන්න ඉල්ලන එක අසාධාරණයි. හැබැයි තිරයේ සීරීම් තියෙනවානම් ලොකු ගණනක් අඩු කරන්නට ඉල්ලන්න ඔබට පුළුවන්.




පාවිච්චි කල දුරකථනයක් පරීක්ෂා කිරීම.

ඔබ ජංගම දුරකථනය පරික්ෂා කරන්න යන අවස්ථාවේ දේවල් කිහිපයක් යා යුතුයි.
  • ඔබේම චාජර කේබලයක් ( නැත්නම් කෙනෙක්ගෙන් ඉල්ලාගෙන යන්න )
  • ජංගම දුරකථන වර්ගයට ගැලපෙන SIM පතක්.
  • Headphones
  • microSD කාඩ් පතක්
  • ලැප්ටොප් පරිගණයක්
මුලින්ම ජංගම දුරකථනය අතට අරගෙන හොඳින් පරීක්ෂා කරන්න. හදිස්සියේ check කරන්න යන්න එපා. දුරකථනයේ බඳේ ඇති සීරීම් නැවීම් ගැන පරීක්ෂා කරන්න. තැලීම් වගේ දකින්න තියෙනවා නම් හිතලා බලන්න ඒ වගේ තැල්මක් ඇතිවෙන්න පුළුවන් විදි ගැනත්. මොකද විශාල තැල්මක් ඇති වෙන්න සැලකිය යුතු තරමේ ඉහලක සිට දුරකථනය පහළට වැටෙන්න ඕන. ඒ වගේම කැමරාවේ කාචය, බාහිර වීදුරු ආවරණය ගැනත් සැලකිලිමත්වන්න. ජලයෙන් හානි සිදුවෙලාද කියලා දැනගන්න බැටරියට යටින් ඇති කුඩා සුදු පැහැ ස්ටිකරය රතු පැහැ වී ඇත්නම් එය ජලයෙන් හානි වූ ජංගම දුරකථනයක්. බැටරිය ඉවත්කරන්න බැරි ජංගම දුරකථනයක් නම් සිම්පතට යටින් එය දැකගන්නට පුළුවන් වෙයි.
සිම්පත ඇතුලත් කරන කවුළුව වගේම විවෘත වන චලනය වන අංග වැඩි අවධානයකින් සෝදිසි කරන්න. Headphone port එකට ඔබ රැගෙන ආ headphone එක යොදා check කරන්න. චාජර් කේබලයත් ඔබේ ලැප්ටොප් පරිගණකයට සම්බන්ධ කරලා පරීක්ෂා කරන්න. මේ පරීක්ෂා ඔබට ලබාදෙන අමතර උපාංග සමගත් පරීක්ෂා කරන්න.
සිම්පත ඇතුලත් කරන්න. Calls ගන්න. SMS යවන්න. ඔබ සාමාන්‍යෙයන් පිවිසෙන වෙබ් අඩවියකට පිවිසී බලන්න. සෑම ජංගම දුරකතනයකම විශේෂ කේතයක් භාවිතයෙන් Service මෙනුවට පිවිසීමට හැකියි. ඒ හරහා ඔබට ජංගම දුරකථනයේ විවිධ අංග වල ක්‍රියාකාරීත්වය දැනගන්න පුළුවන්. උදාහරනයක් විදියට Samsung Galaxy Note 3 ජංගම දුරකථනයේ *#0*# යෙදීමෙන් ඔබට LCD තිරය, තිරයේ ස්පර්ශ සංවේදී බව, සීපීකරය, කැමරාව, වයිබ්‍රේටරය හා අනෙකුත් සංවේදක වල ක්‍රියාකාරීත්වය පරීක්ෂා කරන්න පුළුවන්.
අපි මීට කලින් ලිපියක පාවිච්චි කල දුරකථන විකුණන්න කලින් සැලකිලිමත් විය යුතු ආකාරය ගැන කතා කලා මතක ඇති නේ. ඉතින් අද මේ කිව්වේ පාවිච්චි කල ජංගම දුරකථනයක් මිලදී ගන්නට පෙර සැලකිලිමත් වෙන්න ඕන කරුණු කිහිපයක් විතරයි. මේ ලිපියට එකතුවෙන්න ඔබ කරුණු ඔයාලත් දන්නවා ඇති. එහෙනම් ඒවා පහතින් තියෙන comment box එකේ පළකරන්න.

Saturday, January 17, 2015

පොතක් ලියා පළකරන්නේ කෙසේද?

පොතක් ලියා පළකරන්නේ කෙසේද?.

මෙතන ඉන්නවා, මම දැකල තියෙනවා ඉතාම ලස්සන භාෂාවක් තියෙන දක්ෂ ලේඛක ලේඛිකාවො..ඒ වගේම සමහරු ඉන්නවා නිර්මාණ කරල ප්‍රකාශයට පත්කරගන්න බැරුව ලතවෙන... හැමෝටම පිළිතුරක් නැත්තං මගපෙන්වීමක් මේ මගින් ලැබේවි යැයි සිතනවා..
නවකථාවක් / කෙටිකතා / කවි / ශාස්ත්‍රීය පොතක් නම්...............

ඉස්සෙල්ලම තමුන් කරපු නිර්මාණය ඒක මොකක් වුණත් ටයිප් සෙටින් දන්නා අයෙකු ලවා A4 ප්‍රමාණයට මාජින් තියල ටයිප් සෙටින් කරගන්න වෙනවා අදාළ භාෂාවෙන්. මොකද ෆුල්ස්කැප්, අභ්‍යාසපොත් වල ලියල දෙන පොත් නිකං ප්‍රාථමික ගතියක් තියෙනව දැන් කාලෙ..... ඒක ටයිප්සෙට් කරල පොතක් විදියට බයින්ඩ් කරල ගන්න.
පළමුවෙනි කාරණාව මේක තමුන් විසින් මුද්‍රණය කරල ප්‍රකාශයට පත්කරනවද නැති නම් ප්‍රකාශකයෙකු හරහා තීරණය කළ යුතුයි.

කර්තෘ ප්‍රකාශන නම්....

ජාතික පුස්තකාල හා ප්‍රෙල්ඛන මණ්ඩලය කොළඹ 07 වෙත ගොස් පොතේ පිටපත ඉදිරිපත් කොට අවැසි නම් කර්තෘ ප්‍රකාශකයෙකු ලෙස ලියාපදිංචි විය හැකිය. එමෙන්ම පොතක් සදහා වූ අන්තර්ජාතක ප්‍රමිති මාලිත අංකය ISBN එක ලබාගත යුතුය. එය එවේලේම හෝ පසුව තැපැල් මගින් ලබාගත හැකිය. එය ඉතා සරල කටයුත්තකි.

පොත කුමක් වුවද එය ඒ භාෂාව දන්නා උගතකු/ පරණ ප්‍රින්සිපල් කෙනෙක් / මහාචාර්යවරයෙක් / ප්‍රවීණ ලේඛකයෙක් / මාධ්‍යකරුවෙක් වගේ කෙනෙක්ට දීලා හරිවැරදි බලවා ගන්න. ඒ ගමන් පොඩි හැදින්වීමක් ලියල දෙන්න කියන්න.. මොකද අදාළ පුද්ගලයාගේ සිවිල් බලයත් දැන් ලංකාවේ පොතකට බලපානවා! ඊට පස්සෙ පොත සදහා පසුවදනක් ලබාගන්න එවැනිම පුද්ගලයෙක් වෙත යන්න. ඔහුගෙනුත් අදහස් අරං අඩුපාඩු සාකච්ඡා කරල ඒවා හදන්න... වැරදි නිවැරදි කරගන්න.. උඩගු වෙන්න එපා..තමන් සියල්ල දන්නවා යැයි හිතන්න එපා.. නිහතමානි වෙන තරමට වැඩේ ලේසියි...

ඊට පසු අර පොත ටයිප් සෙටින් කරපු කෙනා ලවාම පොතේ PAGE LAYOUT හදාගන්න. පොත් වල සම්මත ප්‍රමාණ තියෙනවා ක්‍රවුන් සයිස්, ඩිමයි සයිස් ඔය වගේ. එහෙම ටයිප්සෙටින් කරන ගමං පොත් කවරයක් ලෑස්ති කරගන්න.. කවිපොත්, කෙටිකතාවලට ග්‍රැෆිකල් කමර්ෂල් කරනව අඩුයි.. කරන්නෙ චිත්‍ර අදින එක තමා. ඒක තමුන්ගෙ අභිමතය පිරිදි සුදුස්සෙකු ලවා කරගන්න ඕන.

විශ්වාසවන්ත මුද්‍රණාලයක් සොයාගන්න. පොතක් මුද්‍රණයට නම් පොතේ පිටු ගණන කවරය වෛර්ණ නම්, එයද මුද්‍රණය කර, ලැමිනේෂන් කරල, ගැදර් කර, බයින්ඩ් කර, කටර් කරල අවසාන නිමාව විදියට පොත් 500ක් හෝ 1000ක් මුද්‍රණයට අදාල කෝටේෂන් තැන් 3-4කින් ගන්න... තමුන්ගෙ පසුම්බියෙ තරමට හරියන තැන තෝරල ඒක මුද්‍රණය කරගන්න. ඔබ අදාළ පොතේ ට්‍රේසින් මුද්‍රණය වගේම පොසිටිව් හෝ සී.ටී.බී ප්ලේට් (වර්ණ කවරය) මුද්‍රණයට අදාළ කටයුතු මුද්‍රණාලයට සැපයීම හෝ ඔවුන් ලවාත් කරගත හැකියි. කඩදාසිය තේරීමේදී සැලකිලිමත් වෙන්න.. මොකද පොත කුඩා නම් පිරුණු පෙනුමක් නැත්තං හොදට මස හිටින්න නම් ‘බල්කි‘ කඩදාසියත් ඉතා ශාස්ත්‍රීය හෝ වැදගත් යැයි ‘සම්මත‘ පොතක් නම් ‘සුදු පැහැ බෑන්ක්‘ කඩදාසියත් ඊට යොදාගන්න. එවිට මිල මට්ටම වෙනස් වෙනවා ඇත. සමස්ත මුද්‍රණ ක්‍රියාවලිය වෙනුවෙන් වැයවූ මුදල මෙන් තුන්ගුණයක්ද විෂය පොතක් නම් හතර හෝ පස්ගුණයක් ලෙස මිල තීරණය කළ යුතුය.
ඉන්පසු ලොකුම ගැටලුව පොත විකුණගන්න එක. ඔක්කටෙම කලියෙන් ඒ මුද්‍රණය කරපු පොතනේ පිටපත් 05ක් ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවට ලබාදීමට කාරුණික වන්න. එය ජාතික යුතුකමකි.


තමුන් කැමති නම් දොරට වැඩීමේ උළෙලක් පවත්වන්න. එහිදී ආරාධිතයන් පොත මිලයට ගන්නා නිසා (මගුල් ගේ වගේ ඕක කියන්නෙ ඉතින් විකුණගන්නනෙ! නැතුව අහවල් එකටයැ!) පොත් යටත්පිරිසෙයින් 100ක්වත් විකුණාගත හැකිය. එසේවන්නේ 300කට පමණ ආරාධනා කළහොත් ය.! ඇත්තටම එන්නේ අඩුගණනකි. (ඔබ ජනප්‍රිය/ප්‍රසිද්ධ අයෙකු නොවේනම්) මාධ්‍ය ආයතන සියල්ල වෙත ආරාධනා කළ යුතුය. බොරුවට හරි එහෙම කරාම ඔවුන් තමුන්ගෙ වැඩසටහන් වල එවැනි ඉසව්වක් තියෙන බව සදහන් කිරීමත් ප්‍රසිද්ධිය ලබාගතහැකි කාරණාවක්.
ඊට පස්සෙ පොතේ පිටපත් කිහිපයක් පුවත්පත් ආයතන වල මාධ්‍යෙව්දීන් හෝ කතුවරුන් වෙත ලබාදුන්විට ඔවුන් පොත පිළිබද ‘අලුත් පොත්‘ තීරුවේ පළකරනු ඇති. ඉන්පසු ලංකාවේ ප්‍රසිද්ධ පොත්හල් වලට පොතේ පිටපතක් ඉදිරිපත් කරන්න ඕනි. ඔවුන් කැමති නම් බොහෝවිට පිටපත් 10 සිට 50 දක්වා බාරගන්නවා. ඒ විකුණා මුදල් ලබාදීමේ කොන්දේසිය පිට. ඒ කියන්නෙ අපි පොත් හලට 40%ක මිලයට පොත් ලබාදිය යුතුයි. පොත විකුණුනු වහා දෙනවා කියල එයාලා කියනවා...දෙන එක ගැටලු සහගතයි තමා... ඉතින් ඒක පස්සෙ පන්නන්න ඕනි. දීපු පොත් කඩ ස්ථාවර ඒවා විය යුතුයි. ඒවගේ නම් ගම් දුරකථන අංක සියල්ල පොතක ලියාගත යුතුයි..දීපු පොත් ගාණත් එක්ක! මාස 2-3කින් පාඨකයෙක් විදියට කෝල් කරල අහල බලන්න ඒනි ‘අරහොම‘ පොතක් තීද කියල....තියෙනව කීවොත් මූණ බෙරි කරගන්න වෙනවා.. නෑ කීවොත් පහුවදාම යන්න සල්ලි ඉල්ලගන්න!!


ඒ වගේම හිතවතුන්, ආයතන හරහාත් මෙවැනි සමාජ ජාල හරහාත් සැලකිය යුතු පොත් සංඛ්‍යාවක් විකුණාගන්න පුලුවන්.. හැබැයි ටිකක් කට්ට කන්න වෙනවා.

ප්‍රකාශකයෙකු මාර්ගයෙන්....


ලංකාවේ හොද ප්‍රකාශන ආයතන කිහිපයක් තියෙනවා. මේ ඊයෙත් ෆේස්බුක් වල කොළඹින් බැහැර ජනප්‍රිය ප්‍රකාශන ආයතනයක් පොත් බාරගන්න බවට දැන්වීමක් පළ කරල තිබුණා. ඒ වගේ ආයතන තියෙනවා.. හොරුත් සෑහෙන ඉන්නවා.
ප්‍රකාශන ආයතන නම් දෙකතුනකට යන්න වෙනවා. සමහරු පොත තියල යන්නකියනව. අවුරුද්දකින් ගියත් පොත තියපු තැනමයි! සමහර ප්‍රකාශන ආයතන වල මුදලාලිලා නොව ප්‍රකාශන සම්බන්ධව තේරුමක් තියෙන මාධ්‍යෙව්දීන්/ලේඛකයන් වගේ අය ඉන්නවා. එහෙම ඉන්න ආයතන වලට පොත දුන්නාම ඒ අය කියවල බලල හොද නම් බාරගන්නවා. ප්‍රකාශකයා සමග ගිවිසුමකට යන්න වෙනවා. මුද්‍රිත පිටපත් ප්‍රමාණයේ මුළු වටිනාකමින් 10%ක් ඔබට කර්තෘ භාගය ලෙස හිමිවෙන අතර මුද්‍රිත පොත් ප්‍රමාණයකුත් නොමිලයේ ලැබෙනවා. කට්ට කන්න වෙන ප්‍රමාණය ඉතාම අඩුයි.. ප්‍රකාශකයා හා ලේඛකයා අතර සහයෝගීතාව උඩ විවිධ දැනහැදුනුම්කම් හරහා ප්‍රචාරය හා විකුණුම් කටයුතු කරගත හැකියි.

පොත් මිලදි ගැනීම සංස්කෘතික කටයුතු අමාත්‍යංශය
ජාතික පුස්තකාලය
අධ්‍යාපන අමාත්‍යංශය
වැනි ආයතන විසින් යම් පිටපත් ප්‍රමාණයක් මිලට ගන්නවා. ඔවුන්ගෙ ලේඛකාධාර වැඩපිළිවෙලකින් සහාය ගන්නවා නම් ඉතාම හොදයි.

පරිවර්තන නම්.....

මුල් කෘතිය කිහිපවතාවක් කියවල, ඒක රටට දිය යුතු දෙයක්ද නොදිය යුතු දෙයක්ද තීරණය කළ යුතුයි. ඉන්පසු පරිවර්තන කාර්යය නිමවා ඒ ගැන අවබෝධයක් ඇති අය කිහිපදෙනෙකුට එය කියවන්නට දිය යුතුයි. ඒ අයගේ ප්‍රතිචාර අනුව නැවත සංස්කරණය හෝ අදාළ වෙනස්කම් කර, එම පොතේ වෙනත් පරිවර්තන ඇතිදැයි සොයාබැලිය යුතුයි. ඇත්නම් ඒවා සොයාගෙන එහි අඩුපාඩු බැලිය යුතුයි. අඩුපාඩු ඇතැයි පැහැදිලිවම කිව හැකිනම් ඒවා සටහන් තබාගෙන, අදාළ කාර්යය කළ යුතුයි.
ඉතිරිය පෙර ලෙසමයි...